වාර්තාව: ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 ‘මුද්‍රණය’ කිරීමෙන් පෙන්නුම් කරන්නේ 2022 දී රාජපක්ෂ-ප්‍රමුඛ රජය මෙන් නව ජනාධිපති/රජය ආර්ථිකය නැවත වරක් අවදානමට ලක් කරමින් අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කරන බවයි.
කරුණ: මෙම වාර්තාව නොමඟ යවන සුළුය. වාණිජ බැංකු සහ අනෙකුත් ආයතනවල ද්‍රවශීලතාවය පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විවට වෙළඳපල කටයුතු හරහා මුදල් නිතිපතා නිකුත් කරයි. 2022 සහ ඊට පෙර රාජපක්ෂ-ප්‍රමුඛ රජය වැඩිපුර මුදල් මුද්‍රණය සිදු කරන ලද්දේ ද්‍රවශීලතා හේතූන් මත නොව, රජයේ වියදම් සහ ආදායම අතර පරතරය (රජයේ අයවැය හිඟය) පිරවීම සඳහා ය. මෙසේ මුදල් මුද්‍රණය කිරීම උද්ධමනය සහ ආර්ථික අස්ථාවරත්වය වැඩි කිරීමට බලපායි.
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු X, TikTok, සහ Facebook වැනි වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවල ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 කට වඩා “මුද්‍රණය” කර රට නැවතත් ආර්ථික අස්ථාවරත්වයේ අවදානමකට ලක් කරන බවට චෝදනා කරයි.
X හි වාර්තාව බෙදා ගනිමින්, @shanki_thewitch සිංහලෙන් ලිවීය: “හදිස්සියකට සල්ලි ටිකක් අච්චු ගහගන්න බැරි නම් ආණ්ඩුවකින් වැඩක් තියෙනවයෑ …හුම්ම් ..!! 😑😑😑”
පංචාලි පනාපිටිය ඇගේ Facebook සටහනේ මෙසේ ඉංග්‍රීසියෙන් ලියා ඇත: “ඉතින් ශ්‍රී ලංකාව නැවතත් මුදල් මුද්‍රණය කිරීමට පටන් ගනී… දින 36 ක් පමණයි ගෙවී ඇත්තේ.”
අනෙකුත් පරිශීලකයින් TikTok වැනි වෙනත් සමාජ මාධ්‍ය වේදිකාවලද මෙම වාර්තාව විවිධාකාරයෙන් බෙදා ගත් අවස්ථාවල උදාහරණ කිහිපයක් මෙහි, මෙහි, මෙහි සොයාගත හැකිය.
2022 දී රට ආර්ථික අර්බුදයකට ගෙන ගිය රජයේ අයවැය හිඟය පියවීම සඳහා මහ බැංකුවේ මුදල් යෙදවීමේ පසුගිය රජයේ ක්‍රමවේදය සැලකිල්ලට ගෙන, මෙම ප්‍රකාශවල සත්‍යතාව පරීක්ෂා කිරීමට Newschecker අපි තීරණය කළෙමු.
කරුණු පරීක්ෂා කිරීම (Fact Check/Verification)
මහ බැංකුව මෑතකදී ශ්‍රී ලංකා රුපියල් බිලියන 100ක් නිකුත් කළාද?
මූල පද සෙවීම් (keyword search) හරහා, මහ බැංකුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 ක මුදල් නිකුත් කර ඇති බව Newschecker කණ්ඩායම සොයා ගත්තේය. EconomyNext හි මෙම ලිපියට අනුව, 2024 ඔක්තෝබර් 25 වන විට, “ශ්‍රී ලංකාවේ මහ බැංකුව ඔක්තෝබර් 25 වන විට බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම්වලට එරෙහිව රුපියල් බිලියන 100 ක් පමණ නිකුත් කර ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. එමඟින් බැංකු පද්ධතියේ අතිරික්ත මුදල් රුපියල් බිලියන 190 ඉක්මවයි.”
කෙසේ වෙතත්, මෙම ද්‍රවශීලතාවය නිකුත් කිරීම පුළුල් ලෙස ප්‍රකාශ වන පරිදි මුදල් නෝට්ටු වචනාර්ථයෙන් “මුද්‍රණය කිරීම” හරහා සිදු නොවූ බව සඳහන් කළ යුතුය.
මෙය සිදුකෙරුණේ මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි හරහා උපයාගත් මුදල මගිනි: එක් රාත්‍රියක වෙන්දේසියකින් ඉපැයූ රුපියල් බිලියන 36.16ක් සහ තවත් දින 7ක වෙන්දේසියෙන් ඉපැයූ රුපියල් බිලියන 70ක්. වෙන්දේසි දෙකම 2024 ඔක්තෝබර් 25 දින අවසන් විය. ශ්‍රී ලංකා රුපියල් භාවිතා කරමින් මහ බැංකුවේ ආයෝජනය කිරීමේ ක්‍රමයක් ලෙස ඕනෑම දේශීය හා ජාත්‍යන්තර පුද්ගලයෙකුට හෝ ආයතනයකට භාණ්ඩාගාර බිල්පතක් සහ බැඳුම්කරයක් මිලදී ගත හැකිය. ස්ථාවර තැන්පතුවක් හා සමානව, ආයෝජනය කල් පිරෙන විට, මහ බැංකුව විසින් ආයෝජකයින්ට ප්‍රතිලාභයක් ගෙවනු ලැබේ. මෙය ද්‍රව මුදල් ලබා ගැනීමේ හැකියාව වැඩි කරයි. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් විවට වෙළඳපල කටයුතු (Open Market Operations) ලෙස හඳුන්වන බැංකු මෙහෙයුම් පද්ධතියක් යටතට වැටේ.
විවට වෙළඳපල කටයුතු (Open Market Operations) යනු කුමක්ද?
ඉහතින් උපුටා දක්වන ලද EconomyNext ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 ක් විවට වෙළඳපල කටයුතු හරහා “මුද්‍රණය” කර ඇති බවයි. Newschecker විවට වෙළඳපල කටයුතු ගැන වැඩි විස්තර අවබෝධ කර ගැනීම සඳහා ආර්ථික විද්‍යාව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂඥයෙකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලිට කථා කළෙමු.
“විවට වෙළඳපල කටයුතු සහ ස්ථාවර ණය පහසුකම් පිළිබඳ අදහස වන්නේ වාණිජ බැංකුවලට ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා මුදල් අවශ්‍ය වන, විශේෂයෙන් මුදල් මඳක් හිඟ වන අවස්ථාවන්ට මුහුණ දීමයි. එබැවින්, එම අවස්ථා වලදී, වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් මුදල් ණයට ගැනීමට සහ/හෝ ඔවුන් සතුව ඇති සමහර රජයේ සුරැකුම්පත් සුරැකුම් ලෙස භාවිතා කළ හැකිය. මෙය මහ බැංකුවේ දෛනික මෙහෙයුමක් වන අතර එහිදී මහ බැංකුව වාණිජ බැංකුවලට ආර්ථික වශයෙන් ද්‍රවශීලතාවය අවශ්‍ය වූ විට සහාය දක්වයි,” ඔහු පැහැදිලි කළේය.
මෙය මුදල් නෝට්ටු “මුද්‍රණයට” වඩා වෙනස් බව පැහැදිලි කරමින් මොරමුදලි මෙසේ පැවසීය:
“මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මුදල් නෝට්ටු වැඩි කිරීම හෝ නොකිරීම ගැන නොව, කෙටිකාලීනව වාණිජ බැංකුවලට මුදල් ලබා දෙන මහ බැංකුවයි. මෙය සාමාන්‍ය මෙහෙයුමකි. ඇතැම් ආර්ථික න්‍යායික දෘෂ්ටිකෝණවලින්, එය මුදල් ‘මුද්‍රණය’ ලෙස සැලකෙන්නේ මහ බැංකුවේ යම් ආකාරයක නව මුදල් විවට වෙළඳපල කටයුතු හරහා බැංකු පද්ධතියට එන බැවිනි.”
විවට වෙළඳපල කටයුතු හරහා ද්‍රවශීලතාවය නිකුත් කිරීමෙන් පසු, එවැනි මුදල් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන්ගේ දෛනික මෙහෙයුම් සඳහා වාණිජ බැංකු වෙත ලබා දෙනු ලැබේ.
රුපියල් බිලියන 100ක් මුදල් නිකුත් කළේ රජයේ අයවැය හිඟයකට මුදල් යෙදවීමටද?
රුපියල් බිලියන 100ක් නිකුත් කළ මෙම වෙන්දේසි දෙක ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය හෝ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ අවශ්‍යතා මත සිදු වූ බවට කිසිදු සලකුණක් නැත. මෙම වෙන්දේසි දෙක රජයේ අයවැය හිඟය පියවීම සඳහා කළ බවටද කිසිදු ඇඟවීමක් නොමැත.
එපමණක් නොව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් වාණිජ බැංකුවලට ද්‍රවශීලතා සහය සහ තවත් බොහෝ දේ ඇතුළත් මහ බැංකුවට අදාළ දෛනික කටයුතුවලට මැදිහත් වීම රජයට තහනම් කරයි. මහ බැංකුවේ ස්වාධිපත්‍යයට සැමවිටම ගරු කළ යුතු බව පනතින් අවධාරණය කෙරේ. පනතේ 5 (3) වගන්තියේ මෙසේ සඳහන් වේ.
දැන් මේ රුපියල් බිලියන 100 මුදල් නිකුත් කළේ ඇයි?
රුපියල් බිලියන 100 විවට වෙළඳපල කටයුතු හරහා නිකුත් කර ඇති බව පිළිබඳව මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝම්බර් 29 වන දින නිකුත් කරන ලද පැහැදිලි කිරීමක්:
“විවට වෙළඳපල කටයුතු හරහා ශ්‍රී ලංක මහ බැංකුව රුපියල් බිලියන 100 ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළ වී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා වේ. මහ බැංකුව විවට වෙළඳපල කටයුතු හරහ ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහා බැංකු කටයුත්තක් වේ. විවට වෙළඳපල කටයුතු සිදු කරනු ලබන්නේ පොළී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝුකොට දක්විය නොහැකිය.”
EconomyNext හි ලිපියේ සඳහන් “මුදල් මුද්‍රණය” යන්න සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇත්තේ මුදල් නෝට්ටු ‘මුද්‍රණය කිරීම’ හරහා රජයේ අයවැය හිඟය පියවා ගැනීමක් බව එම ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
මහ බැංකුව සාමාන්‍යයෙන් මුදල් නිකුත් කරන්නේ කවදාද?
මහ බැංකුව සාමාන්‍යයෙන් අවස්ථා කිහිපයකදී මුදල් නිකුත් කරයි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය ලසිත පත්බේරිය (අතිරේක අධ්‍යක්ෂ) සහ ශක්ති රාජකරුණා (ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ) එක්ව ලියන ලද පුවත්පත් ලිපියකට අනුව, මෙම අවස්ථා වන්නේ,
- මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම. 2019 සහ 2022 අතර ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික අර්බුදයට තුඩු දුන් මුල්‍ය මූල්‍යකරණය ලෙසින් හඳුන්වනු ලබන මෙය රජයේ අයවැය හිඟය පියවීම සඳහා සිදු කරන ලදී. කෙසේ වෙතත්, 2023 සැප්තැම්බර් මස පනවන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත, ඉහත සඳහන් කළ පරිදි මුදල් මූල්‍යකරණය තහනම් කරයි. රජයට සිය අයවැය හිඟය පිරවීම සඳහා ස්වාධීන මහ බැංකුවක මුදල් භාවිතා කළ නොහැක.
- බලපත්‍රලාභී බැංකුවලට හදිසි අවස්ථා වලදී සහ ඔවුන්ගේ දෛනික කටයුතු සඳහා ණය/ණය පහසුකම් සැපයීම
- භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන්/වෙන්දේසි කිරීමෙන් විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් සිදු කිරීම
- දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම සඳහා මුදල් සැපයීම
- මහ බැංකුවේ මෙහෙයුම් වියදම් සඳහා මුදල් යෙදවීම
නිගමනය
මේ අනුව, විවට වෙළඳපල කටයුතු හරහා ආර්ථිකයට සිය දෛනික කටයුතු සඳහා ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 ක් නිකුත් කිරීම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් රජයේ අයවැය හිඟය (හෝ මූල්‍ය මූල්‍යකරණය) සඳහා මුදල් අච්චු ගැසීමක් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව පැහැදිලිය. මෙම තත්ත්වය 2022 ආර්ථික අර්බුදයට තුඩු දුන් දෙයට සමාන බව වැරදි මතයකි. එම කාලය තුළ, ඉහළ මට්ටමේ මුදල් මුද්‍රණය සිදු කරනු ලැබුවේ ද්‍රවශීලතා හේතු මත නොව, රජයේ අයවැය හිඟය අතර පරතරය පිරවීම සඳහා ය.
ප්‍රතිඵලය: නොමඟ යවන සුළු / Missing context
අපගේ මූලාශ්‍ර
EconomyNext හි 2024 ඔක්තෝබර් 27 වැනි දින මහ බැංකුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කිරීම පිළිබඳ වාර්තාව
මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණය, අප්‍රේල් 2024
2024 ඔක්තෝබර් 29 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳපල කටයුතු සහ මුදල් මුද්‍රණය පිළිබඳ මාධ්‍ය සටහනක්
2024 සැප්තැම්බර් 13 වැනි දින Daily FT හි ප්‍රකාශයට පත් කරන ලද මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය ලසිත පත්බේරිය සහ ශක්ති රාජකරුණා එක්ව ලියන ලද ලිපිය
2024 නොවැම්බර් 3 වැනිදා ලැබුණු උමේෂ් මොරමුදලිගේ ප්‍රකාශය
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.