Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
වාර්තාව: ලෝක තැපැල් දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ මුහුණු සහිත මුද්දර දෙකක් මහජනයා අතර බෙදා හැරීම සඳහා නිකුත් කරන ලදී.
කරුණ: වාර්තාව නොමඟ යවන සුළුය. අමරසූරිය සහ හේරත් යන අයගේ මුහුණු සහිත මුද්දර තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඔවුන් වෙත පිරිනමන ලද්දේ සුවිශේෂී සිහිවටන ලෙසිනි. මෙම මුද්දර මහජනයා අතර බෙදා හැරීම සඳහා නිකුත් කර නැත.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් ඔවුන්ගේ මුහුණු රැගත් තැපැල් මුද්දර ලබා ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප දෙකක් සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචලිත වෙමින් පවතී. 150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ රුව සහිත මුද්දර නිකුත් කළ බව මෙම වයිරල් වාර්තා කරන අය කියා සිටිති.
බොහෝ ප්රවෘත්ති වාර්තා සහ සමාජ මාධ්‍ය මෙම වාර්තාව ඉස්මතු කර ඇත. සමරු මුද්දරවල “වඩා අර්ථවත්” පණිවිඩ ඇති වෙනත් වසර මෙන් නොව, මෙම වසරේ මුද්දරවල දේශපාලනඥයන්ගේ මුහුණු ඇති බව එවැනි වාර්තා කිහිපයක් සඳහන් කළේය. එවැනි වාර්තා මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.
Newschecker හට මෙම ප්‍රකාශය ෆේස්බුක් හි බහුලව දක්නට ලැබිණි. උදාහරණ කිහිපයක් මෙහි, මෙහි, සහ මෙහි සොයාගත හැකිය.
ශ්‍රී ලංකාවේ ලෝක තැපැල් දින සැමරුම් දේශපාලකයින්ගේ මුහුණු නොව රටේ ඉතිහාසයට සහ සංස්කෘතියට සම්බන්ධ මුද්දර ඇතුළත් කර ඇති බැවින් වයිරල් ප්‍රකාශයේ සත්‍යතාව පරීක්ෂා කිරීමට Newschecker තීරණය කළේය.
Newschecker කණ්ඩායම ප්‍රථමයෙන් අගමැතිනියගේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කළහ. 2024 ඔක්තෝම්බර් 9 වන දින 150 වැනි ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එයට අගමැතිනි අමරසූරිය සහ අමාත්‍ය හේරත් සහභාගී වූ බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
Newschecker විසින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ‘ජනාධිපති’, ‘ලෝක තැපැල් දිනය’, ‘හරිනි අමරසූරිය’ සහ ‘විජිත හේරත්’ යන වචනවල මූල පද සෙවුමක් (keyword search) කළේය. වයිරල් වාර්තා අසත්‍ය බව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් අපට පසුව හමු විය.
අමරසූරිය සහ හේරත් යන අයගේ මුහුණු සහිත මුද්දර ඔවුන් වෙත සිහිවටන ලෙස තිළිණ කළ සුවිශේෂී පුද්ගලාරෝපිත මුද්දර බව එම නිවේදනයේ සඳහන් වේ. මුද්දර නිකුත් කිරීම භාර තැපැල් දෙපාර්තමේන්තුවේ අංශය වන මුද්දර කාර්යාංශය හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ඕනෑම රූපයක් මුද්දරයක පෞද්ගලීකරණය (personalise) කළ හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. මුද්දර කාර්යාංශයේ වෙබ් අඩවිය පැහැදිලිව පවසන්නේ මෙය උනන්දුවක් දක්වන සියලු දෙනාටම සපයනු ලබන සේවාවක් බවයි.
Newschecker කණ්ඩායම මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ෆේස්බුක් සටහනක් තබා තිබූ මුද්දර expert කණ්ඩායමක් වන කියවන මුද්දර හි නිරෝෂණ පීරිස්ට කතා කළේය. පීරිස් මෙසේ පැවසීය:
“මේවා සමරු මුද්දර නොවන බවත්, සිහිවටනයක් ලෙස නිර්මාණය කරන ලද මුද්දර පත්‍රිකාවක් පමණක් බවත්, ඒවා ඕනෑම අයෙකුට තැපෑලට මුදල් ගෙවා සකසා ගත හැකි බවත් දන්නේ කී දෙනාද? සමරු හෝ විශේෂ කාණ්ඩයේ (commemorative /special stamps) සහ නිත්‍ය කාණ්ඩයේ (Definitive) ලෙසින් මුද්දර වර්ග කෙරෙන අතර, ඉහතින් සදහන් මුද්දරය QR කේතය සහිතව “ඔබේ රුවට මුද්දරයක්” නමින් ප්‍රචලිත පුද්ගලකාරක මුද්දර සිහිවටන පත්‍රිකාවකි… වැරදි තොරතුරු (disinformation) සහ සාවද්‍ය තොරතුරු (misinformation) ජනගත කිරීම සඳහා ඇති ඉහල ප්රවණතා හඳුනාගැනීමට අප උත්සුක විය යුත්තේ මෙවැනි පුවත් තුලින් සමාජයට වන අගතිදායක බව අවම කිරීම වෙනුවෙනි.”
150 වැනි ලෝක තැපැල් දිනය වෙනුවෙන් මහජන බෙදා හැරීමට හා භාවිතයට අමරසූරියගේ සහ හේරත්ගේ මුහුණු සහිත මුද්දර නිකුත් කළ බවට කරන වයිරල් වාර්තා නොමඟ යවන සුළුය. අමරසූරිය සහ හේරත් යන අයගේ මුහුණු සහිත මුද්දර පත්‍ර ඔවුන් වෙත තැපැල් දෙපාර්තමේන්තුව විසින් සුවිශේෂී පුද්ගලාරෝපිත සිහිවටන ලෙස පිළිගන්වන ලදී. ඒවා පොදු බෙදා හැරීම සඳහා නොවේ.
අපගේ මූලාශ්‍ර
2024 ඔක්තෝබර් 9 දිනැති News19 LK හි ප්රවෘත්ති වාර්තාව
2024 ඔක්තෝබර් 9 දිනැති Daily Mirror LK හි ප්රවෘත්ති වාර්තාව
2024 ඔක්තෝම්බර් 9 වන දින හිරු නිවුස් LK හි ප්රවෘත්ති වාර්තාව
2024 ඔක්තෝබර් 9 දිනැති අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙබ් අඩවියේ නිවේදනය
තැපැල් දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් 10 දින නිකුත් කරන ලද ප්‍රකාශය
ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ වෙබ් අඩවිය
2024 ඔක්තෝබර් 10 දිනැති කියවන මුද්දර හි නිරෝෂණ පීරිස්ගේ ෆේස්බුක් සටහනක්
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. නැත්නම්, අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න.