Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
වාර්තාව: නොවැම්බර් 15 වැනි දින කන්කසන්තුරේ බෞද්ධ විහාරස්ථානයක් වන තිස්ස රජමහා විහාරය ඉදිරිපිට වූ විරෝධතාව කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය දෙමළ කණ්ඩායම් උසිගන්වන ලදී.
කරුණ: මෙම ප්‍රකාශය නොමඟ යවන සුළුය. මෙම සිදුවීම සහ නව රජය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අතර 2023 වසරේ සිට තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතියි.
දෙමළ කණ්ඩායමක් විසින් හමුදාවට එරෙහිව කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය ඉදිරිපිට කරන ලද විරෝධතාවක් නව රජය විසින් උසිගන්වා ඇති බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු වීඩියෝ දර්ශන පළ කර ඇත.
වීඩියෝ දර්ශන බෙදා ගනිමින්, @abeetha_0325 නමැති TikTok පරිශීලකයෙකු පැවසුවේ, “දවස් දෙකෙන් පුනරුදය… පුනරුදය උතුරින් ඇරඹේ. නැවතත් හමුදාවට මිනීමරු ලේබලය අලවයි. කන්කසන්තුරේ බෞද්ධ විහාරය ඉවත් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කරයි.”
සමාන ස්වභාවයේ සමාජ මාධ්‍ය වාර්තා මෙහි සහ මෙහි සොයාගත හැකිය.
NPP ප්රමුඛ නව රජය උතුරේ ප්‍රදේශවලින් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී ඇති අවස්ථාවක මෙම සිදුවීමේ සංවේදීභාවය හේතුවෙන්, මෙම ප්‍රකාශයේ සත්‍යතාව සොයා බැලීමට Newschecker කණ්ඩායම තීරණය කළේය.
මූල පද සෙවීම් (keyword search) හරහා Newschecker කණ්ඩායම සොයා ගත්තේ ඇත්ත වශයෙන්ම නොවැම්බර් 15 වැනි දින කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය ඉදිරිපිට දෙමළ ජනවාර්ගික ප්‍රජාවේ සාමාජිකයින් විසින් විරෝධතාවක් පවත්වා ඇති බවයි.
මෙම විහාරස්ථානය පිහිටි ඉඩම දෙමළ පවුල් 14කට අයත් බවත්, එය “ශ්‍රී ලංකා හමුදාව විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති” බවත් පවසමින් පිරිසක් විහාරස්ථානයේ පූජාවක් පැවැත්වීම සම්බන්ධයෙන් හමුදාවට විරෝධය පළ කළ බව ටැමිල් ගාඩියන් (Tamil Guardian) පුවත්පත වාර්තා කළේය. සම්පූර්ණ වාර්තාව මෙතනින්.
කෙසේ වෙතත්, මෙම විරෝධතාව අලුත් හෝ හුදකලා අවස්ථාවක් නොවන බව අපට පෙනී ගියේය. ශ්‍රී ලංකාවේ Center for Policy Alternatives (විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය) විසින් 2024 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද The Intersectional Trends of Land Conflicts in Sri Lanka (‘ශ්‍රී ලංකාවේ ඉඩම් ගැටුම්වල අන්තර් ප්රවණතා’) යන මැයෙන් පවත්වන ලද පර්යේෂණ පත්‍රිකාවක තිස්ස විහාරය ඉඩම් ගැටුම් ස්ථානයක් ලෙස සඳහන් කර ඇත.
27 වෙනි පිටුව මෙසේ ඉංග්‍රීසියෙන් කියයි:
“… ශ්‍රී ලංකා හමුදාව, ඔවුන්ගේ ආක්‍රමණයේදී, බෞද්ධ විහාරස්ථානයක් (තිස්ස රජ මහා විහාරය ලෙසින් නම් කරන ලද) ඉදිකරන ලද අතර, එම විහාරස්ථානයේ කොටසක් පෞද්ගලික දෙමළ ඉඩම් හිමියන්ට අයත් ඉඩම් වෙති. “තිස්ස විහාරය” නමින් පැරණි ආරාමයක් තෛයිද්දියේ මෙම ඉඩම්වල පිහිටා තිබූ බවට වාර්තා ඇත. හමුදාව විසින් කරන ලද අනවසර ඉදිකිරීම අවට දෙමළ පවුල් 14කට අයත් ඉඩම් ආපසු ලබා දෙන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් 2023 මැයි මස 4 වැනි දින විරෝධතාවල නිරත විය. ශ්‍රී ලංකා හමුදාව දැන් උත්සාහ කරන්නේ අමතර ඉඩම් එකතු කර ගනිමින් තම පැවැත්ම තවදුරටත් වැඩි කර ගැනීමටයි.”
2024 ජනවාරි 6 වැනි දින මව්බිම සිංහල පුවත්පතේ පළ වූ පුවත්පත් ලිපියක් ද විහාරස්ථානය අවට එවැනි විරෝධතාවක් වාර්තා කර ඇත. එම පුවත්පත් ලිපිය ද විරෝධතා අලුත් නොවන බවත් 2023 සිට පැවතී ඇති බවත් පෙන්නුම් කරයි. සම්පූර්ණ වාර්තාව මෙතනින්.
විරෝධතා ගැන සඳහන් කරමින් මව්බිම වාර්තා කළේ පරප්පු 100 (පර්චස් 1000) ඉඩම ඔවුන්ගේ මුල් අයිතිකරුවන්ට ආපසු ලබා දීමට විහාරස්ථානයේ බෞද්ධ නිලධාරීන් විරෝධතාකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.
වැඩිදුර පර්යේෂණවලදී, විහාරස්ථානය පිළිබඳ විරෝධතා පිළිබඳ මුල්ම වාර්තාව ටැමිල් ගාඩියන් (Tamil Guardian) පුවත්පතෙහි 2023 මැයි 4 බව අපට පෙනී ගියේය. එම වාර්තාවේ සඳහන් වන්නේ, “විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ පන්සල ඉවත් කර විහාරස්ථානය අවට ඇති පරප්පු 100 (පර්චස් 1000) ඉඩම් ඒවා හිමි පවුල් 14ට ආපසු ලබා දෙන ලෙසයි.” සම්පූර්ණ වාර්තාව මෙතනින්.
මෙම විරෝධතා නිශ්චිත රජයකට සම්බන්ධ නොවන බවත්, යුධ සමයේ වුණු ඉඩම් මංකොල්ලකෑම් නිසා සිදුවන්නක් බවත් මෙයින් තවදුරටත් තහවුරු වේ.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාර භූමිය අවට නොවැම්බර් 15 වැනි දින වූ විරෝධතාව සන්දර්භයෙන් ඉවත් කර නව රජය උතුරේ ප්රචණ්ඩත්වය අවුස්සන බවට හැඟවීමට නොමඟ යවන ආකාරයෙන් සමාජ මාධ්‍ය බෙදාගෙන ඇති බව පැහැදිලිය.
අපගේ මූලාශ්රකන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරය අසල විරෝධතාව පිළිබඳ පුවත් වාර්තාව, ටැමිල් ගාඩියන්, 2024 නොවැම්බර් 15
The Intersectional Trends of Land Conflicts in Sri Lanka වාර්තාව, Center for Policy Alternatives (විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය), 2024 අගෝස්තු
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරය පිළිබඳ පළ වූ පුවත් වාර්තාව මව්බිම පුවත්පත, 2024 ජනවාරි 4
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරය අසල විරෝධතාව පිළිබඳ පුවත් වාර්තාව, ටැමිල් ගාඩියන්, 2023 මැයි 4
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.
Pramodha Weerasekera
December 18, 2024
Pramodha Weerasekera
October 23, 2024
Pramodha Weerasekera
October 9, 2024